Saturday, 12 May 2012

පාස්කු බිත්තර!



මේ ගුරු ජීවිතයේ එක දවසක්. එදා උගන්නන්න තිබුනේ 6 වසරේ ඉංග්‍රීසි පොතේ විවිධ ආගම් වලට සම්බන්ධ කෑම වර්ග ගැන පාඩමක්. මේ පාඩම ඉතින් කලින් අවුරුදු වල පන්ති ගණනාවකට උගන්නලා මට කටපාඩම් වෙලා තිබුනේ. ඒකෙ තිබුනා පාස්කු උත්සවයට හැමෝම Easter eggs සහ Easter bunnies ලා හදනවා කියලා. පින්තූරත් දාල තිබුනා. 


ඒකාලේ මම කලින් උගන්නපු කොළඹ ශාන්ත ...විද්‍යාලයෙන් අස්වෙලා කොළඹට ටිකක් ඈතින් තිබුණු කොන්වන්ට් එකට ආපු අලුත. කලින් පාසලේ වැඩියෙන් හිටියේ ඉංග්‍රීසි කතා කරන පොහොසත් ළමයි. එයාලට Easter eggs , Easter bunnies ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් තිබ්බේ නැහැ. ඒත් මේ කොන්වන්ට් එකේ බහුතරයක් ඉන්නේ ධීවර පසුබිමකින් එන දුප්පත් දරුවෝ. එයාලා මේ 'පාස්කු බිත්තර', 'පාස්කු හාවෝ' කනවා තියා ඒගැන අහලවත් නැති බව පාඩම පටන් ගන්න කලින් ඉඳලම මම දැනගන හිටියා. එනිසා මම කලින් ලෑස්ති කරගන ගිය පින්තූර එහෙම පෙන්නලා පාඩම කියල දෙද්දී පන්තියම කටවල් ඇරගෙන.


පාඩමේ නම් තිබ්බේ සීනි, පිටි, අයිසින් වලින් හදන Easter eggs පස්සේ පාට කරනවා කියලයි. ඒත් මෙහෙ වැඩියෙන්ම තියෙන්නේ චොක්ලට් වලින් හදලා පාට පාට කොළ වල ඔතපු Easter eggs.








පාඩම කරගන යද්දී මට මතක් වුනා අපි ගෙදරදී අපේම ක්‍රමේකට හදන ලෝකල් Easter eggs. ක්‍රීම් ක්‍රැකර් කුඩු කරලා 
සීනියි බටර් ටිකකුයි කලවම් කරලා බෝල කරනවා. මේවා දියකරපු චොක්ලට් වල ඔබලා ටිකක් හයි වෙන්න ෆ්‍රිජ් එකේ තියලා ගත්තම ඇත්ත Easter eggs වලට වඩා රසයි. මම නිකමට වගේ පන්තියට ඕක කිව්වා කැමතිනම් හදලා බලන්න කියලා. කිව්වා විතරයි ඔක්කොමලා එකපාර කෑගහන්න පටන් ගත්තා. 

"අනේ ටීච අපිත් හදමු, පන්තියේදී හදමු, අනේ හදමු ටීච" කිය කිය.


මටත් ආස හිතුනා. කලින් ඉස්කෝලේ හිටියේ කොල්ලොනේ. එයාලට මොන කෑම හැදිලිද. ඒත් මේ ඉස්කෝලේ ගණිතයට ඇරෙන්න අනිත් හැම විෂයකටම වගේ ළමයි කෑම හදනවා. ඒප්‍රන් ඇඳගෙන කෑම බන්දේසි උස්සගන එහා මෙහා දුවන ළමයි මෙහෙ සුපුරුදු දසුනක්. හැමදාම කොහෙහරි පන්තියක ළමයි හදපු නානාප්‍රකාර කෑම ස්ටාෆ් රූම් එකට එනවා. අපි ඒවා වැඩිය කන්නේ නැති එක වෙනම කතාවක්. හේතුව හිතාගත්තහැකි නේ.


ඉතින් මමත් ok එක දුන්න. හරි අපි හදමු. කණ්ඩායම් වල හිටිය ළමයි එක එක්කෙනා ගේන බඩු බාරගත්ත. ඔන්න හැමෝම ආසාවෙන් බලන් හිටිය දවස උදාවුණා. කෙල්ලෝ ටිකත් ඉතින් මගුල් ගෙදරකට උයන්න වගේ ඒප්‍රන් ඇඳගන, තොප්පි දාගන. වැඩේ පටන් අරන් ටික වෙලාවයි ගියේ පන්තියට ලමෙක් ආවා පණිවිඩයක් අරන්. 

"ටීචට මිස් අරුණි එන්න කිව්වා."
මම ගිහින් බැලුවා. හරි වැඩේ. මොකද්ද කලාප තරගයකට යවන්න ළමයි තෝරන්න මටත් එන්නලු. දැන් මොකද කරන්නේ. මම මගේ පන්තියට පණිවිඩයක් යැව්වා.
"ඕගොල්ලෝ වැඩේ කරගන යන්න, මම ඉක්මනට එන්නම්."
පීරියඩ් එක ඉවර වෙන්න කිට්ටු වෙලා මට යාන්තම් පන්තියට යාගන්න ලැබුනා. ළමයි පාස්කු බිත්තර හදලා. දැන් ඒවා චොක්ලට් වල ඔබන අදියරේ තමයි ඉන්නේ. එක කණ්ඩායමක බිස්කට් කුඩු ගෙන්න බාර ගත්ත ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් ගෙනත් නැහැ. ඒත් එකට හරියන්න බටර් ප්‍රමාණය අඩු කරන්න ළමයින්ට අමතක වෙලා. ඉතින් බටර් තොගේකට බිස්කට් කුඩු ඇබිත්තක් දාලා ඒ කණ්ඩායමේ හදල තියන easter eggs තනිකරම බටර් බෝල වගේ.ඒ මදිවට පොල් ගෙඩි සයිස් එකට හදලා. වරද නිවැරදි කරන්න දැන් වෙලාවක් නැහැ. ඔය අතරේ මට ආයිත් එන්න කියලා කැඳවීමක් ආවා. ළමයින්ට පන්තිය අස්කරලා කෑම රස බලන්න කියලා මම එලියට ආවා.

ඒ වැඩේ ඉවර වෙලා මම ඊළඟට තිබුන පන්තියේ උගන්වමින් ඉන්නවා. ආයෙත් ආවා පණිවිඩකාරයෙක්.

"ටීච, ටීචගේ පන්තියේ නංගිලා කට්ටියක් බඩ රිදෙනවා කියල අඬනවා."
මට එකපාරටම මතක් වුනේ අර බටර් බෝල කණ්ඩායම. මම හිතුවා හරි. ඒ කට්ටිය තමයි අඬන්නේ. එයාලව සික් රූම් එකට යවලා බඩේ අමාරු බෙහෙතක් බොන්න දුන්නා. වසක් විසක් කැවිලා නෙමෙයිනේ. බටර්නේ. ඒනිසා එච්චර බය වෙන්න දෙයක් නැහැ. එහෙම හිතාගන්න හැදුවට හිත යටින් මම හොඳටම බය වුනා.

මෙයාලට හොඳටම අමාරු වෙයිද? ඉස්පිරිතාලෙත් ගෙනියන්න වෙයිද? මේ සීන් එක නිව්ස් වලත් යයිද දන්නැහැ. ඉස්කෝලේ ඇරිලා කට්ටියම ගෙවල් වලට ගියා. මම එදා දවසෙම උන්නේ බයෙන්. හෙට උදේ යනකොට මොකකින් මොකක් වෙලා තියෙයිද. පහුවදා උදේ මම ඉස්කෝලේ ගියේ පපුව ගැහි ගැහි. ගේට්ටුවෙන් ඇතුල් වුනා. 
කට්ටිය තැන් තැන් වලට එකතු වෙලා කතාවෙනවද? හැමෝම මගේ දිහා අමුතු විදිහට බලනවද? සිස්ට ප්‍රින්සිපල්?

ම්හු. මුකුත් අමුත්තක් නැති පාටයි. කව්රුවත් සීන් එක දන්නේ නැහැ වගේ. මම අත්සන් කරලා අඩියට දෙකට දුවගන ගියා මගේ පන්තියට.
ආ මේ ඉන්නේ බටර් බෝල කණ්ඩායම එහෙම පිටින්ම. හිනාවෙවී. අනේ අම්මේ මගේ හිතට දැනුනු සැනසීම.
"මොකෝ උනේ ඊයේ?"
"නෑ ටීච ඊයේ ගෙදර ගිහිල්ල බත් කෑවට පස්සේ හරිගියා."



ඊළඟ අවුරුද්දෙත් අලුත් පන්තියත් එක්ක අර පාස්කු බිත්තර පාඩම ආවා.
"ටීච අපිත් හදමුද පන්තියේදී?"


"මොනවද, easter eggs ද? අනේ බැහැ ළමයි පන්තියේදී කරදරයි. ඕගොල්ලෝ ගෙදර ගිහින් හදාගන්න. මම හදන විදිහ කියන්නම්."

Saturday, 21 April 2012

එන්න යන්න සුන්දර ලන්ඩනයේ රවුමක්

මට හිතුනා ලන්ඩනය ගැන වැඩිය කතාබහ නොවෙන විස්තර ටිකක් කියන්න.


ලන්ඩන් ගෙවල්...

ලංකාවේ නම් කාටහරි ගෙයක් ඕනේ වුනොත් ඉඩමක් අරගන ඒකෙ තමන් කැමති විදිහකට ගේ හදාගන්න පුළුවන්. එත් මෙහෙ එහෙම බැහැ. හැම ගෙයක්ම නගර සැලසුමකට අනුව හදල තියෙන්නේ. කොටින්ම ගෙයක් හදන්න පුළුවන් හැම තැනකම ගෙවල් හදල ඉවරයි. ඉතින් අපිට පුළුවන් හොඳ පලාතක් බලල කැමති  ගෙයක් අරගන්න විතරයි. මෙහෙ හැම ගෙයක්ම එක වගේ. අර සූර පප්පා එකේ කියනවා වගේ. ඕනෙම පාරක දෙපැත්තේ තියන හැම ගෙදරක්ම පිටතින් එක වගේ. හැබැයි එක එක පාරවල් වල වෙනස් විදිහේ ගෙවල්. ලංකාවේදී වගේ කාගෙහරි ගෙයක් මතක තියාගන්න කොළ පාට තාප්පයක් තියන ගෙදර, රතු ගේට්ටුවක් තියන ගෙදර කියල හොයන්න ගියොත් හොයල ඉවරයි. ඒකෙ ලොකු හොඳක් තියනවා. ගේ දිහා බලල මිනිස්සුන්ව මනින්න බැහැ. අපේ ගෙදරට එහා ගෙදර ඩොක්ට කෙනෙක් ඉද්දි මෙහා ගෙදර පාර අතුගාන කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි ඇතුලේ තම තමන්ගේ පෝසත්කම් වල හැටියට වටිනා බඩු තියනවා. මේ ගෙවල් ඇතුලේ බිත්ති වල තීන්ත ගාන්නේ නැහැ වෝල් පේපර් අලවන එක තමයි කරන්නේ. 





කාටවත් ලොකු මිදුලක් නැහැ. මේ වගේ පොඩි ඉඩක් විතරයි. ගේ 
පිටිපස්සේ ටිකක් දිග බිම් තීරුවක් තියනවා.












මුළු ලන්ඩනයම මේ වගේ තමා. සමහර පැතිවල ලොකු සල්ලිකාරයෝ ඉන්න මාලිගාවල් වගේ ගෙවලුත් නැත්තේ නැහැ.






ලන්ඩන් ගමන් බිමන්...

මෙහෙ වැඩියම තියෙන්නේ ලස්සන ඩබල් ඩෙකර් බස්. කොන්දොස්තර කෙනෙක් නැහැ. එක්කෝ ඩ්‍රයිවර්ට සල්ලි දෙන්න ඕනේ නැත්තන් ගොඩක් අය පාවිච්චි කරන්නේ බස් පාස් එක. ඒක ඩ්‍රයිවර් ගාව තියන මැෂින් එකට තිබ්බම සල්ලි කැපෙනවා. ඩ්‍රයිවර් ටයි එකක් එහෙම දාල ඉන්නේ. හැම බස් නැවතුමකම බස් එක එන වෙලාවල් ගහල තියනවා.   2.34, 5.49 වගේ වෙලාව තිබුනත් හරියට තප්පරේට බස් එක එනවා. ටියුබ් එක හෙවත් උමං දුම්රියත් එහෙමයි. 


ගමන් යන්න තව පොදු ප්‍රවාහන සේවා තියනවා. national rail ,London Overground  කියන්නේ තව දුම්රිය සේවාවන් දෙකක්. ටිකක් ගණන් වැඩි. DLR කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් නැතුව නිකන් දුවන කෝච්චියක්.   
ඩ්‍රයිවර් නැති කෝච්චිය 

ලන්ඩන් කෑම...

මෙහෙ දැන් සුද්දෝ තරමටම කළු ජාතිකයොත් ආසියානුවොත් පෝලන්ත මිනිස්සුත් ඉන්න නිසා ඕනෙම කඩේක එක එක රටවල කෑම දකින්න පුළුවන්. මස් කඩේදී දකින අපිට නුහුරු මස් තමයි බැටළු මස් සහ තාර මස්. එංගලන්තෙටම විශේෂ උදේ කෑම වේලක් තියනවා. English breakfast.
 සොසේජස්, baked beans, බිත්තරයක් සහ බේකන් එක්ක පාන්. එකත් එක්ක ඌරු ලේ දාලා හදපු black pudding කියලා මොකද්ද ජරාවකුත් කනවා.  

 මූණු පොතේ ෆාම් විල් එකේදී අපි නිදි මරාගන වවපු බ්ලැක් බෙරි, ක්රෑන් බෙරි, ආටිචෝක්, ඇස්පරගස් එහෙම ඇත්තටම දැක්ක දවසේ මට දැනුන සතුට! හැබැයි ඉතින් ලංකාවේ අඹ අන්නාසි කාපු අපිට මෙහෙ කෑම මෙලෝ රහක් නැති බවත් නොකියාම බැහැ.

 බොරෝ මාකට්ටුවේ ආටිචෝක්











ලන්ඩන් නත්තල්... 

නත්තල් මාසේ පටන් ගන්නකොටම පාරවල් සරසන්න ගන්නවා. හැම නගරෙකම පාරවල් සහ ඒ අවට ගස්වැල් පාට පාට බල්බ් වලින් සරසන්නේ ඒ නගරය අයිති council එකෙන්. නත්තලට ලන්ඩනයේ ලස්සනටම සැරසෙන්නේ Oxford Street කියන පාර. පාර දෙපැත්තේ තියන ලොකු ගොඩනැගිලි ලයිට් වලින් වැහිලා. බලන්න ලස්සනයි. මේ ලන්ඩන් නත්තල් බලන්න ගිය අපි ගත්ත ෆොටෝ.


    මේ වගේ රජ පවුලක්ම ඉන්නව බිග් බෙන්  එක ගාව. සංචාරකයොත් එක්ක ෆොටෝ වලට පෙනී ඉන්න එක තමයි රස්සාව.











මේ සුප්‍රකට Harrods සාප්පු සංකීර්ණය. 


පෝස්ට් එක හිතුවට වඩා දික් වුනානේ. තව ලියනවනම් ලියන්න දේවල් බොහොමයි. ඒත් අදට ඇති වගේ.






Saturday, 7 April 2012

ශු.බර්නදෙත්තුමිය

ලඟදි පුංචි කුමාරිහාමි ලියල තිබුන "ලූර්දු යමු" පෝස්ට් එක දැකල මේක ලියන්න හිතුනා. හුඟක් අය ලූර්දු ගැන ටිකක් හරි අහල තියන පාටයි. ඒ පිටිපස්සේ තියෙන්නේ ලස්සන කතාවක්. 

ඒ 1858 අවුරුද්දේ. ප්‍රංශයේ ලූර්දු නගරය අසල ගමක්.මේ ගමේ ඉන්නවා බර්නදෙත් කියල අවුරුදු 14 ක දැරියක්. දවසක් මේ බර්නදෙත් එයාගේ සහෝදරියත් තව යහළුවෙකුත් එක්ක ඇවිදින්න යනවා. පොඩි දිය පාරක් ලඟින් මේගොල්ලෝ කන්දක් දිගේ ඉහලට නගිනවා. සපත්තු මේස් ගලවන්න ගිහින් පරක්කු වුන බර්නදෙත්ව දාල අනිත් දෙන්න ඈතට යනවා. තනියම ඉන්න බර්නදෙත්ට ඇහෙන හඬක් නිසා උඩ බලන ඇය දකින්නේ පුදුමාකාර දර්ශනයක්. ඇය දකින්නේ ජේසුස් වහන්සේගේ මෑණියන් වන මරියතුමිය. සුදෝ සුදු ඇඳුමක් ඇඳලා නිල් පැහැති පටියක් පැළඳගෙන ඉන්න ඇගේ දෙපා සරසන්නේ කහ පාට රෝස මල් දෙකක්.  ඇය තමයි බර්නදෙත් ජීවිතයේ දැකපු ලස්සනම කාන්තාව.


බර්නදෙත් සමග යාච්ඥාවේ යෙදෙන ඇය ඉන්පසුව අතුරුදන් වෙනවා. තවත් දින දෙකක් බර්නදෙත්ට දර්ශනය වෙන මේ ලස්සන කාන්තාව ඇයට කියනවා නොකඩවා දින 15 ක් ඇයව මුණගැසෙන්න එතනට එන්න කියලා. ඊළඟ වතාවේ ඇයත් සමග ඇගේ දෙමව්පියන් සහ අසල්වාසීන් පිරිසකුත් යනවා. නමුත් දේව මෑණියන්ව දකින්නේ බර්නදෙත් පමණයි.
 මේ දර්ශනය වීම් ගැන මුළු නගරය පුරාම ප්‍රසිද්ධ වෙනවා. ඉදිරි දින කීපයේදී මිනිසුන් සිය ගණනක් සහ අන්තිම දිනයේදී මිනිසුන් විසිදහසක් මෙය බලන්න රැස් වෙනවා. ඒ අතරේ සිටි වෛද්‍යවරුන් ඇයව පරීක්ෂා කරනවා. කිසි වෙනසක් නැහැ. දේවමාතාවන් සමග කතාකරන බර්නදෙත්ගේ මුහුණ අමුතුම දීප්තියකින් බැබලෙන බව හැමෝම දකිනවා. ඒවගේම ඒ මොහොතේදී බර්නදෙත්ට අනිත් අය කියන දේ නොඇසෙන බවත් ඇඟට තට්ටු කලත් කටුවකින් ඇන්නත් එය නොදැනෙන බවත් ඔවුන් දකිනවා.

 දෙව්මවුන්ගේ හඬට කීකරු වන බර්නදෙත් එතැන පොලොව අතින් හැරුවම මතුවන්නේ පුංචි දිය පාරක්. ඉන් දිය දෝතක් බොන ඇය මුහුණත් සෝදා ගන්නවා. එදා ඉඳන් මේ දිය පාර ටිකෙන් ටික ලොකු වුන බවත් අදටත් එය දකින්න ලැබෙන බවත් ඒ ජලයට ලෙඩ සුවකිරීමේ පුදුමාකාර බලයක් ඇති බවත් කියවෙනවා.
මේක ඇතුලේ තියෙන්නේ ලූර්දු වතුර. ආගමේ අයගේ ගෙවල් වල තියනවා. කාටහරි අසනීපයක් වුනාම මේ ලූර්දු වතුර ටිකක් නළලේ ගානවා.

 පසුව ශුද්ධවන්තියක් බවට නම් කෙරුණු බර්නදෙත්තුමියගේ නොදිරූ සිරුර ප්‍රංශයේ St.Bernadette දේවස්ථානයේ අදටත් දකින්න පුළුවන්.






Friday, 23 March 2012

තවත් ගුටි කතාවක්...




මේක නම් කලින් කතාව වගේ නෙමෙයි තනිකරම මගේ ඇට්ටර කම නිසා වෙච්ච දෙයක්.
මේ කාලේ මට අවුරුදු 8ක් විතර ඇති. 
ඔන්න එදා ගේ පොලිෂ් කරනවද මොකද්ද කියලා අම්මා අයියවයි මාවයි ගෙදරින් එලියට දාලා ඇතුලට එන්න තහනම් කරලා තිබුන. මමත් ඉතින් මිදුලේ කොනක ඉඳගන තනියම සෙල්ලමක් කර කර හිටියා. අයියා ඊට ටිකක් එහායින් ගල් කැට වගයක් අහුලගන මොනාද කරනවා. ටික වෙලාවකින් එයාට අලුත් සෙල්ලමක් හම්බුනා. ඒ තමයි පොඩි පහේ ගල් කැට අරගන හොඳට ඒම් කරලා මට ගහන එක. ජිල් බෝල සයිස් ගල් කැටයක් ටාර් ගාලා ඇවිල්ලා ඇඟේ වදිනකොට රිදෙනවා. ඉතින් මම කීප සැරයක්ම කිව්වා ඕක නවත්තන්න කියලා.  
කිව්වට අහපු එකක්යැ. එයා තවත් ෆෝම් උනා. කොහෙහරි නිකන් තියන ගහකට හරි ගලකට හරි ඉලක්කේ අල්ලනවා වගේ නෙවෙයිනේ මම වගේ සෙලවෙන, එහා මෙහා යන, කෑ ගහන වස්තුවකට ඉලක්කේ අල්ලලා ගල් කැට වලින් ගහන එක. අයිය ලොකු විනෝදයක් ලැබුවා ඒකෙන්. අනික එයා දන්නවා එවෙලාවේ මට ඒක නවත්තන්න කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ කියලා. අම්මට කියන්නත් බැහැ. අම්මා අහල පහල ඇන්ටිලා දෙතුන් දෙනෙකුත් එකතු කරගන ගේ ඇතුලේ මොකද්ද ලොකු ජරමරයක් කරනවා. ඒ අස්සේ කරදර කරන්න ගියොත් මට අම්මගෙනුත් කන්නයි වෙන්නේ. ඉතින් මම කල්පනා කරා මොකද්ද මේකට කරන්නේ කියලා. එතකොටම තවත් ගලක් ඇවිල්ල වැදුනා.
ඌයියා.
මගේ ඉවසීමේ සීමාව පැන්නා. වට පිට බලපු මම අහුලගත්තා මගේ අතේ මිටක් තරම් ලොකු කළු ගල් කෑල්ලක්. අත උස්සලා, ගහන ඉරියව්වට ආපු මම දාන්න පුළුවන් සැරම මූණ දාලා, හොඳට වොලියුම් එකත් වැඩි කරලා කෑ ගැහුවා.

"තව එක පාරක් හරි මට ගැහුවොත් මමත් ගහනවා මේකෙන් ඔලුව පැලෙන්න!!!"   

අයියා අඩි දෙක තුනක් පස්සට විසි වුනා. මට ඉතින් මාර හැපී. මෙච්චර වෙලා පූසට අහුවුණ මී පැටියා වගේ හිටිය මට මේ කොහෙවත් යන ගල් කෑල්ලක් නිසා ආපු පවර් එක! අයියා දැන් ටිකක් විතර බය වෙලා හෙල්ලෙන්නේ නැතුව එහෙමම ඉන්නවා මම ඇත්තටම ගහයිද කියලා. මට ඉතින් එයාට ගහනවා කියලා බය කරන්න මිසක් ඇත්තටම ගහන්න අදහසක් තිබුනේ නැහැනේ. එත් දැන් එයා ඉන්න හැටි දැකලා මට හොඳ අදහසක් ආවා. ගහනවා කියල තර්ජනය කරාම මෙච්චර බය වුනානම් ඇත්තටම ගලෙන් ගැහුවොත් කොහොමට බයවෙයිද. ආයි ජීවිතේට මට කරදර කරන්න එන එකක් නැහැ. වදින්න නෙමෙයි නිකන් ලඟින් යන්න ගහන්න ඕනේ.

 ඉතින් මමත් එයා කළා වගේම එක ඇහැක් පොඩි කරලා ඔලුවට අඟල් දෙකක් විතර උඩින් යන්න ඉලක්කේ අල්ලලා ගලෙන් ගැහුවා. අනේ ඉතින් ඒවගේ හපන් කමක් මට දැන් කරන්න කිව්වත් බැරි එකේ ඒකාලේ පුළුවන් වෙලා තියේයැ. අයියගේ ඔලුවට අඟල් දෙකක් උඩින් යන්න කියලා ගහපු ගල ඉලක්කේ වැරදිලා ඊට අඟල් කීපයක් පහලින් තිබුන අයියගේ නළලේ මැද්දටම ගිහින් වැදුන ටොක් ගාලා. හපොයි දෙයියනේ. නළල තුවාල වෙලා ලේත් මතුවුනා. ඔන්න එතකොට නම් මම හොඳටම බය වුනා. දුවගන ගිය අයියා ගාවට. මගේ සිංහ පාට් ඔක්කොම ඉවරයි. ගිහින් අඬල හැපිලා කිව්වා මම ගහන්න නෙමෙයි ගියේ වැරදිලා වැදුනේ කියලා. එහෙමත් ගල් වලින් ගහනවද මගෙ සුදු අයියට.   
ලේ ආවට එච්චර ලොකු තුවාලයක් නෙමේ පොඩි එකක්. ඒනිසා වැඩේ ඉහල තැන් වලට යන්න නොදී ගොඩින් බේරගන්නයි හැදුවේ. ඒත් හරිගියේ නැහැ. අයියා එවෙලේම අම්මට කෑගහල අම්මව එලියට ගෙන්නුවා.
දෙයියනේ ළමයගේ නලලෙන් ලේත් එනවා. ක්‍රිමිනල් කේස් එකක්. අම්මට හොඳටම තරහ ගියා. සාදාරනයිනේ. මම පහුගිය දවසක නිව්ස් වල දැක්ක මේ වගේ රණ්ඩුවකදී ගලකින් ගහල ළමයෙක්ගේ ජීවිතයත් නැතිවෙලා.
තරහ ගිහින් හිටිය අම්මා එදානම් තාත්ත එනකන් හිටියේ නැහැ නඩුව කියන්න. ලඟම තිබ්බ පේර ගහෙන් හොඳ කෝටුවක් කඩාගත්ත. පේර අත්තේ කොළ ටික කඩල දැම්මම කොළ තිබුන තැන් වල කෝට්ට දිගටම ගැට හිටිනවා. මේ ආහාරය භුක්ති විඳලා තියන අය ඒකෙ රස දන්නවා ඇතිනේ.   එදා අම්මගෙන් මගෙ කකුල් දෙක කෝටු පාර කෑවේ "ආයිත් අත උස්සනවද අයියට ගහන්න?" කියලයි. 
හරි. පලවෙනි අදියර ඉවරයි. දෙවනි අදියර පටන් ගන්නේ හවසට තාත්ත ආවම.
හවස් වේගන එද්දී ගෙයි මුල්ලකට වෙලා බයේ හූල්ල හූල්ල ඉන්න මාව දැකලා අම්මට දුක හිතුනා. අපේ අම්මට කොහොමත් ඉක්මනට උණුවෙන හිතක් තියෙන්නේ. සමහරදාට අපිට බැනලා අම්මම අඬනවා.  ඉතින් අම්මා අයියා ලඟට ගිහිල්ලා ආදරෙන් කතාකරා.

"අනේ පුතේ නංගි හිතල නෙවෙයිනේ ගැහුවේ වැරදිලානේ වැදුනේ, දැන් මගෙනුත් ගුටි කාලනේ ඉන්නේ. පවුනේ පුතේ, අපි ඔන්න ඔහේ තාත්තට කියන් නැතුව ඉමු. දැන් තාත්ත ආවම ඔයා තුවාලේ වැඩිය පේන්න යන්නේ නැතුව ටිකක් පැත්තකට වෙලා ඉන්න." 

අයියත් හා කිව්වා. මගෙ හිතට පවන් වැදුනා. පැය බාගෙකට විතර.

තාත්ත දොරෙන් ඇතුලට එනකොටම අයියා හොඳට ඉස්සරහින්ම ගිහින් හිටගත්තා. "ආ මේ මොකද නළල? වැටුනද?"
මං හිතුව ඔව් කියලවත් කියයි කියලා. මොන.

"නෑ..මේ.. මේ.. කියල ටිකක් ඇදලා පැදලා.."නංගි ගලකින් ගැහුවා" කියල ඇඟට පතට නොදැනී කියලා දැම්මා. මලා. තාත්ත මගෙ දිහා බැලුවා බැලිල්ලක්... මං හිතුව ඔන්න ගැහුවා දැන් ගැහුවා කියලා. කෝ නෑ. තාත්ත බලාගන ඉන්නවා. මමත් බලාගන ඉන්නවා. ඔහොම ටික වෙලාවක් බලන් ඉඳල තාත්ත කාමරේට ගියා. දැන් මං ඉන්නවා කැඳවීම ලැබෙනකල්. 
ම්හු, කතාකරන පාටක් නැහැ. ටික වෙලාවකින් තාත්ත කුස්සියට ගිහින් අම්මත් එක්ක වෙන කතාවක් පටන් ගත්තා. ඔය විදිහට රෑ කෑම වෙලාවත් ඇවිත් ගියා. 
තාත්තට අද මහන්සි ඇති. හෙට ගහයි.
හෙට උදාවුණා. අපි නැගිටිනකොට තාත්ත වැඩට ගිහින්. එදා රෑ තාත්ත ඇවිල්ල මගෙ දිහා බලන්නේවත් නැතුව කුස්සියට ගිහින් අම්මයි අයියයි එක්ක කතා කර කර හිටිය. මං නං ගියේ නැහැ පැත්ත පළාතේ. ඉල්ලලා ගුටි කන්න ඕනේ නැහැනේ. ගහන පාටක් නැහැ. පහුවදාත් එහෙමයි. ඔන්න එතකොට තමයි මට වැඩේ තේරුනේ. තාත්ත මගෙත් එක්ක තරහ වෙලා.

මට හරිම දුකයි. එවෙලෙට ගැහුවට ඊට පස්සේ මම ටීවී බලන්නෙත් තාත්තගේ ඔඩොක්කුවේ ඉඳන්. ඒ මුළු වෙලාවේම තාත්ත මගෙ ඔලුව අතගානවා. චොක්ලට් එහෙම ගෙනාවමත් මගෙ අතට තමයි දෙන්නේ. මම වැඩියෙන්ම ආදරෙත් තාත්තට. තාත්ත තරහ වුන එක මට දරන්න බැරි දුකක්. ගැහුවනම් මීට හොඳයි කියල හිතුනේ එදා. දවස් 4 ක් මෙහෙම තරහ වෙලා හිටිය තාත්ත 4 වෙනි දවසේ මට අඬගහලා පැයක විතර ලොකු දේශනාවක් දීලා ආපහු යාලු වුනා. දේශනාවේ අන්තර්ගතය වුනේ අයියත් එක්ක සමගියෙන් ඉඳීම,  ලොකු අයට අත උස්සන එක නරක වැඩක් වගේ දේවල්. 

ඒවා කොහොම වුනත් මේ සිද්ධියෙන් මම ඉගන ගත්තේ වෙනමම පාඩම් දෙකක්.
1. කෝටු පාරට වැඩිය රිදෙන දඬුවම් තිබේ.
2. බැරි වැඩ නොකර හිටු අබරෝ.  


Friday, 9 March 2012

ජැක්සන්ලා සහ ෂෝ මෑන්ලා අතරේ සුරදූතිකාවකගෙන් පාඩමක්





උණුසුම් සුභපැතුම් මගේ ආදරණීය සාසාට MBA ජයග්‍රහණය වෙනුවෙන්. 
ලස්සන ගතිගුණ වලින් පිරුණු ඔයාගේ ජීවිතයට උගත්කම තවත් ආභරණයක්ම වෙන්න කියලත්, ඉදිරි හැමදේකටම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා කියලත් පතනවා.

තව පොඩ්ඩෙන් මාතෘකාව දාපු කතාවත් අමතක වෙනවා.   


පහුගිය දවස්වල බ්ලොග් ලොවේ වැඩියෙන් කතාබහට ලක් වුණා බස් වල යන කාන්තාවන්ට වෙන අතවර ගැන.  ලිපි කියවනකොට මට මතක් වුණා මම මුහුණ දුන්න ඒවගේ සිද්ධි දෙකක් මගේ ජීවිතේ මම හිටි තැනින් ඊට වඩා හොඳ තැනකට එන්න මට උදවු උන හැටි. ඒ වගේ සිද්ධියකින් කොහොමද හොඳක් වෙන්නේ?  

එදා බස් එකේ හොඳටම සෙනඟ. එදා කිව්වට ඉතින් මම වැඩ ඇරිලා ගෙදර යන බස් එකේ හැමදාම ඒ වෙලාවට කට කපලා සෙනඟ. මට යාන්තම් සීට් එකක් හම්බුනා ජනේලේ ළඟ නෙමෙයි අනිත් පැත්තේ. ෆුට් බෝඩ් එකෙත් විසි පහක් තිහක් විතර එල්ලගන 154 බස් එක පැත්තකට ඇලවීගන ගමන යනවා. මම බලන් ඉන්නේ කොයි වෙලේද එහා පැත්තේ ඉන්න කෙනා බහින්නේ කියල මට ජනේලේ ලඟට යන්න. ටික වෙලාවකට පස්සේ එක එක්කෙනා බැහැල ගිහින් මගේ ළඟ හිටගන්න ආවා පුංචි පාසල් දැරිවියක්. 4 වසරේ විතර. එයත් මගේ ඇඟට බර වෙලා හිටගන වටපිට බල බල යනවා.
 ඔහොම ටික දුරක් යද්දී එකපාරටම එයාගේ මූණ හොඳටම අමුතු වුණා. දැන් එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා එයාට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වගේ. මමත් ටිකක් විපරම් කලා මේ මොකද කියලා. එතකොටයි දැක්කේ මෙයාට පිටිපස්සේ හිටගන ඉන්න පුද්ගලයව.අසාමාන්‍ය විදියට මහත, කළුම කළු, වයස හතලිහක විතර පිරිමි කෙනෙක්, කිළුටු සරමකුයි කමිසෙකුයි ඇඳපු. අත් දෙක දෙපැත්තේ සීට් දෙකට තියල අර දරුවව හිරකරගන එයාට හොඳට හේත්තු වෙලා ඉන්නවා. මට එකපාරටම තේරුණා මොකද වෙන්නේ කියලා. පොඩි වුනාට එයාටත් තේරෙනවා තමන්ට අකටයුත්තක් වෙනවා කියලා.

දැන් මේකට මොකක් හරි කරන්න ඕනෙනේ. එත් මට හිතාගන්න බැරිවුණා. හැමදාමත් බොහොම නිහඬ කෙනෙක් වෙලා හිටිය මට අර මනුස්සයට බනිනවා කියන එක හිතන්නවත් බැරි වැඩක්. ඉතින් මගේ හිත කිව්වේ අර දරුවාව අඬගහල මගේ ඔඩොක්කුවේ වාඩි කරවගන්න කියලයි. මම හොඳටම දන්නවා ඒ වෙලාවේ හැටියට කතාකලා නම් එයා පැනල එන්නේ. 

  ඒත් එක්කම මගේ හිතට තවත් කෙනෙක් කතා කලා. ඒ කතා කලේ හැමදාමත් හිත කියන දෙයක් කරන්න යනකොට ඒකට හරස් කපන මා තුලම ඉන්න තවත් කෙනෙක්. එයා හැමවෙලාවෙම මගේ ආරක්ෂාව, මගේ සැප පහසුව, මගේ යහපත ගැන තමයි මුලින්ම හිතන්නේ. එයා කිව්වේ මෙහෙම දෙයක්. ' දැන් ඒ ලමයව ඔඩොක්කුවේ වාඩි කරව ගත්තොත් ඊලඟට අර මිනිහා ඔයා ගාවටනේ හේත්තු වෙන්නේ. ඔයා දැන් බේරිලා ඉන්නේ ඒ ළමය මැදින් ඉන්න නිසා. ඔයා බස් එක ඉවර වෙන තැනටම යනවා. මෙහෙම යන්න බැහැනේ. අනික බැහැල ඊළඟ බස් එකේ යනවා කියන එකත් කොහොමද කරන්නේ මේ අව් කාෂ්ටකේ, පිස්සු හැදෙයි.'

 ඒත් මගේ හිත බල කරනවා අර දරුවට උදවු කරන්න. අන්තිමේදී කොච්චර හිතුවත් මට ඒක කරන්න හිත හදාගන්න බැරිවුණා. ටිකකින් මගේ ළඟ හිටපු කෙනා නැගිට්ටා. මම ඉක්මනට ජනේලේ ලඟින් වාඩි වුණා. පොඩි කෙල්ල මගේ ලඟින් වාඩි වුණා. අර පුද්ගලයා ඊළඟ හෝල්ට් එකෙන් බැහැල ගියා. ගමනේ මුළු ඉතුරු හරියම මම ගියේ ඒ වෙච්ච දේ ගැන කල්පනා කර කර. මට ගොඩක් දුකයි අර දරුවට උදවු කරන්න බැරි වුන එකට. මම එවෙලේ මගේ ගැන විතරයි හිතුවේ. අම්ම තාත්ත කවදාවත් මට කියල නැහැ පන්තියේ පළවෙනිය වෙන්න කියලා. ලොකු උගතෙක්, සමාජයේ වැදගත් කෙනෙක් වෙන්න කියල. එයාල එක දෙයයි අපෙන් බලාපොරොත්තු වුනේ. ඒ අපි හදවතක් තියන මිනිස්සු වෙනවා දකින්න. එයාල  අවවාදයෙනුත් ආදර්ශයෙනුත් උත්සහ ගත්ත අපිව එතනට ගෙන්න. ඒත් අන්තිමට මම වෙලා තියෙන්නේ මේ වගේ කෙනෙක්. මම ගොඩක් දුක් වුණා මම ගැනම. මම එදා තමයි දැනගත්තේ මට මෙච්චර ආත්මාර්ථකාමී වෙන්න පුළුවන් කියල. ඒවෙලාවේ මගේ ගැන නොහිතා හරි දේ කරන්න ඉදිරිපත් වුනානම් දෙවියෝ මගේ ආරක්ෂාව ගැන බලාගනීවි කියල අද තියන විශ්වාසය එදා මට තිබුනේ නැහැ. 

ඊට කීප දවසකට පස්සේ  උන සිදුවීම මට shock එකක් වගේ උනා. උදේට වැඩට යන්න බස් එක පටන් ගන්න තැනින්මයි මම නගින්නේ. මම ජනේලේ ළඟ සුපුරුදු සීට් එකේ වාඩි වෙනවා. ටික දුරක් යනකන් එකම කට්ටියක් තමයි හැමදාම බස් එකේ යන්නේ. ඉතින් කීප දවසක්ම මගේ එහාපැත්තෙ වාඩි වෙන්න ආවා එක්තරා පුද්ගලයෙක්. හොඳට පිළිවෙලට අත් දිග ෂර්ට් එකකුයි කලිසමකුයි ඇඳලා, බ්‍රීෆ් කේස් එකකුත් අරන්. කොහෙහරි ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් වගේ. 


කොහොමත් පිරිමි කෙනෙක් ළඟ ඉඳ ගත්තම  අපි ටිකක් අවධානයෙන් ඉන්නවනේ. ඒත් අර මනුස්සයනම් හොඳට එහාට වෙලා වාඩි වෙනවා. පොඩ්ඩක්වත් ඇඟේ ගෑවෙන්නේ නැති වෙන්න.කොච්චර ලොකු වංගුවක් ගනිද්දි වුනත් දශමයක්වත් මගේ ඇඟට බර වෙන්නේ නැහැ.  මම බහින තැනට ටිකක් කලින් බැහැල යනවා. ඉතින් මටත් බයවෙන්න දෙයක් තිබුනේ නැහැ. ඔහොම ටික දවසක් ගියා. කොටින්ම දැන් මම කැමතියි අර පුද්ගලයා මගේ ළඟ වාඩි වෙනවනම්.  හේතුව ගමනාන්තය වෙනකන් කිසි කරදරයක් නැතුව යන්න පුළුවන් වීම. ඒවුනාට මම කවදාවත් එයත් එක්ක හිනාවෙන්න කතාකරන්න නම් ගියේ නැහැ. මම දිගටම ජනේලෙන් එළියේ බලාගෙනමයි ගියේ. ඒත් එක දවසක් මට ටිකක් සැකත්  හිතුන වැස්ස නිසා බස් එකේ හත් අට දෙනෙකුට වඩා හිටියේ නැහැ එදා, සීට් ඕන තරම් තියෙද්දිත් අරය මගේ ළඟම ඉඳගන්න ආවනේ. ඇඟේ ගෑවෙන්න හේත්තු වෙන්න එන්නේ නැත්තම් ඉතින් වෙන මොනවා ගැන අවධානයෙන් ඉන්නද කියල හිතල මම ගණන් ගන්නේ නැතුව ගියා.


 ඔන්න මේ දවසෙත් මම බස් එකේ යනවා. ළඟ ඉන්නේ අර සුපුරුදු පුද්ගලයා. මට පිටිපස්සේ සීට් එකේ ජනේලේ ළඟ ඉන්නවා ගැහැණු ළමයෙක්. ටික වෙලාවකින් එයා මට තට්ටු කරලා කතා කරලා මොකද්ද අතට දීල ඒක බලන්න කිව්වා. එයා ඒ දීල තිබුනේ එයාගේ මොබයිල් ෆෝන් එක. එකේ මෙහෙම ටයිප් කරලා තිබුණා.
  " නංගි ඔයා ගාව ඉඳගන ඉන්නේ ජරා මිනිහෙක්. ඔයා ඔතන ඉන්න එපා, නැගිටලා මගේ ලඟට එන්න, මම මෙතන ඉන්න මල්ලිට විස්තරේ කියල තියෙන්නේ, ඔයා ආවම එයා ඔයාට සීට් එක දෙයි. "  

මට හිතාගන්න බැරි වුණා. මම එක පාරටම බෑග් එකත් අරන් නැගිට්ටම අර මනුස්සයත් කලබල වෙලා මට යන්න ඉඩ දුන්නා. මම පස්සට ගියාම එතන හිටිය A/L වයසේ මල්ලි නැගිටලා මට සීට් එක දුන්නා. මට උදවු කරපු තරුණිය මගෙත් එක්ක කතා කලා. 

 "නංගි ඔය මිනිහ කාලයක් මගේ ලඟත් ඔය විදිහට වාඩි වෙලා ගියා, මම දැනගන හිටියේ නැහැ. මානසික ලෙඩෙක්. බ්‍රීෆ් කේස් එක ඔඩොක්කුවේ තියාගන ඉන්නකොට කාටවත් පෙන්නේ නැහැනේ. අද මම කාලෙකට පස්සේ මේ බස් එකට නැග්ගමයි ඒ මිනිහ ඔයා ළඟ ඉන්නවා දැක්කේ.මට බලාගන ඉන්න බැරිවුණා."  
  
ළඟ ළඟ දවස් දෙකකදී මම මුහුණ දුන්න මේ සිද්ධි දෙක ගැන මම කල්පනා කලා. අහසට පොලව වගේ. මම නොදැනුවත්ව හරි මට කරදරයක් වෙද්දී මට උදවු කරන්න අර තරුණිය කොච්චර දුරක් ගියාද. ෆෝන් එකේ මේ විස්තරේ ගහලා,  ලඟ හිටිය නොදන්නා මල්ලි කෙනෙකුටත් කතා කරලා සීට් එක දෙන්න කැමති කරවගන..... එතකොට ඊට ටික දවසකට කලින් මගේ ඇස් ඉස්සරහ කෙනෙකුට කරදරයක් වෙද්දී මම මොනවද කලේ?


 මම ගොඩක් දුක් වුණා. එකක්  මට බස් එකේදී තව ටිකක් විමසිල්ලෙන් ඉන්න බැරි වුන එක ගැන. ෂිහ් අර මිනිහ හිතන්න ඇති මමත් කැමැත්තෙන් තමයි එයා ගාව වාඩිවෙලා යන්න ඇත්තේ කියල. අනිත් එක මගේ ආත්මාර්ථකාමීකම ගැන.  මම හිතන්නේ මේක බලන ඔයාල හැම කෙනෙක්ම තමන් ගැනම ලැජ්ජා හිතෙන මේවගේ අත්දැකීමකට මුහුන දීලා ඇති කවදාහරි. ඒත් මේ හැම සිද්ධියක්ම ඉනිමගේ තව පඩියක් ඉහලට යන්න අපිට උදවු වෙනවා.


මේ සිදුවීම් දෙක වෙලා දැන් අවුරුදු කීපයක් වෙනවා. දැන් නම් බස් එකේදී නෙමෙයි කොහේදී හරි කාටහරි කරදරයක් වෙනවා දැක්කොත් මට අහක බලාගන යන්න ලේසි නැහැ. මොකද මට කරදරයක් වුන වෙලාවේ නොහිතු විදියට මගේ පිහිටට ආව අර තරුණිය මගේ හිතේ කොනක ඉන්නවා තවමත්. එයා බලන් ඉද්දි මම කොහොමද කාටවත් උදවු නොකර ඉන්නේ.